මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75% මට්ටමේම පවත්වා ගනී.

TV SUPREME | මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75% මට්ටමේම පවත්වා ගනී.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (29) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය හෙවත් OPR, දැනට පවතින 8.75% මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කර තිබේ.
දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් මෙන්ම ඉදිරි ආර්ථික දැක්මද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
2026 මැයි මාසයේදී ක්‍රියාත්මක කළ දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම පිළිබඳවද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කර තිබේ.
එමෙන්ම මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින භූ දේශපාලනික ආතතීන් සහ එල් නිනෝ තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි ආර්ථික අවදානම් සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බව මහ බැංකුව පවසයි.
මේ අතර, 2026 වසරේ පළමු අර්ධයේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%ක සැබෑ වර්ධනයක් වාර්තා කරමින් අඛණ්ඩ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බවද මහ බැංකුව සඳහන් කරයි.
කෙසේ වෙතත්, 2026 අගෝස්තු මාසයේදී මෙරට ප්‍රධාන උද්ධමනය වාර්ෂික පදනම මත 8% දක්වා ඉහළ ගොස් තිබේ.
බලශක්ති මිල ඉහළ යාමේ බලපෑම ආර්ථිකයේ විවිධ අංශ වෙත සම්ප්‍රේෂණය වීම උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.
උද්ධමනය 2027 වසරේ පළමු කාර්තුව දක්වා ඉහළ තනි ඉලක්කම් මට්ටමක පැවතීමෙන් අනතුරුව ක්‍රමයෙන් 5%ක ඉලක්කය වෙත පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවද මහ බැංකුව සඳහන් කරයි.
මේ අතර, 2026 අගෝස්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද ශුද්ධ විදේශ විනිමය මිලදී ගැනීම්ද විදේශ සංචිත ඉහළ යාම සඳහා දායක වී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
Published by
Admin
Comments
Reader comments will be connected later.




